07 May, 2014

බඩදරු අම්මා ඇයි ඇල්ලෙන් පැන්නේ?

ටිකක් දිග නිධාන කතාව
ස්සාවක් කියන්නෙ මිනිහෙක්ගෙ ජීවිතේ හුස්ම ටික වගේ වටින දෙයක්. (බිස්නස් කරන අයට නම් බිස්නස්) රස්සාව හරි රස්සාව කරන තැන හරි අවුල් නම් ජීවිතේම අවුල් වෙන්න ඒක හේතුවක් වෙනවා. (මගෙ නම් රස්සාව කරන තැන එක්තරා පරාණකාරයෙක් නිසා මං හැම තිස්සෙම බයෙන් සැකෙන් ඉන්නෙ. දන්නෝ දනිති කවුදැයි එයා) 

පොඩි කාලෙ ඉඳලා මං හීන මැවුවෙ ෆුල් ටයිම් එනවුන්සර් කෙනෙක් වෙන්න.. ඒත් රස්සාවට මං ඉරිදා ජාතික පුවත්පතක ව්‍යාපාරික මාධ්‍යවේදියෙක් (Business Journalist). පාට් ටයිම් එනවුන්සින් වැඩ මට අමතර ආදායමක් වගේම මගෙ හීනෙට යාන්තමින් හරි ඇතුල් වෙන්න ලැබෙන පින්සාර අවස්ථාවක්. (ෆුල් ටයිම් එනවුන්සර් කෙනෙක් නොවුනු එක ගැන දැනගන්නම ඕනෙමනම් 071-7090090 මට කෝල් එකක් ගන්න ) සඳුදා ඉඳලා සිකුරාදා වෙනකං ප්‍රෙස් කොන්ෆරන්ස්, මීඩියා බ්‍රීෆින්, බිස්නස් ආටිකල්ස් / නිවුස්, ඇඩ්වටයිසින් සප්ලිමන්ට්ස් ඒ අතරෙ බිස්නස් පේජ් එක. එක එක කොම්පැනිවල එක එක කතන්දර මගෙ කන් වල පිරිලා. සමහර එකම ආයතන ගැන සතියකට සැරයක්, මාසෙකට සැරයක් ලියල ලියලා ඒ ආයතනවල අයිතිකාරයෝ තරමටම ඒවා ගැන මාත් දන්නවා.. හැමෝටම ඕනේ තමන්ගෙ ආයතනේ ගැන / තමන් ගැන ෆොටෝ දාලා ලස්සනට ලියවගෙන පත්තරේ දාගන්න.  ලියන එක මගෙ රස්සාව හින්දා කාටවත් බෑ කියන්න බෑ.. හදවතට එකඟව ලියල දෙන ඒවා අතරෙ එහෙම නැති ඒවත් තියෙනවා. 

මට ඕනෙ වුණා මගෙ එදිනෙදා ඒකාකාරී, නීරස වෙලා තියෙන ජීවිතෙන් එක දවසකටවත් ඈත් වෙලා නිදහසේ ඉන්න. සඳුදා, අලුත් සතියෙ ඔෆිස් එකේ වැඩ පටං ගන්න දවස. මං සඳුදා දවසක්ම තෝරගත්තෙ සතියෙ ඉස්සරහ ඉතුරු දවස් ටිකට පොඩි ගැම්මක් ගන්නත් එක්ක.. මේ කතාව ලියැවෙන්නේ ඒ පසුබිමේදි. ඉරිදා හිතුණා සඳුදා වැඩට යන්න බෑ කියලා. යන්න තැනක් හොය හොයා රෑ Google එකෙ රස්තියාදු ගහලා ගහලා වෙලාව සඳුදා පාන්දර 2.00ත් වුණා.  තැනක් හම්බුණා. මේ කතාවේ "නිධාන කතාව" හැදුනෙ ඔන්න ඔහොමයි. "නිධාන කතාව" ටිකක් දිග වුණා :-) පත්තර පිටු අතර අපේ වචන වලට සීමා තිබ්බට මේකෙ එහෙම නැති හින්දා වෙන්න ඇති.. නේද??? 

අත්තනගල්ලෙන් දුර වුණත්..
සඳුදා උදේ 9.15ට විතර වැඩට යන ලීලාවෙන්ම ඇඳගෙන වැඩට යන්න ගෙදරින් දුන්න බත් එකත් අරන් මං පාරට බැස්සා. බයික් එකේ රිසව් ලෙවල් :-) ගම්පහ වතුරමල හංදියෙ ෂෙඩ් එකෙන් 500ක තෙල් ගැහුවා. යක්කල සිද්ධායුර්වේදෙන් කිතුල් පිටි කැඳ එකක් ගහලා, යක්කල හතර දේවාලෙත් වැඳගෙන අත්තනගල්ලෙ රජමහා විහාරෙ තොරණ හංදියෙන් ගලපිටමඩ පාරේ දුර ගියේ පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි මගේ පත්තර මුල්ගුරුතුමන්ගේ ගුරු ඇසුර හා අත්තනගල්ලේ ජනමාධ්‍ය පංතියේ සොඳුරු අතීත සිහිවටන ඇස් ඉදිරියේ චිත්‍රපටියක් වගේ මැවි මැවි පේන අතරෙ. මම යන්න බලාපොරොත්තු වෙන තැනට පස්යාල පැත්තෙන් ගියාම මීට වඩා ළඟ වුණත් මට අත්තනගල්ල හරහාම එන්න ඕනෙ වුනේ මගේ ඒ පරණ සුන්දර අතීතෙ ආයෙ ආයෙ කිමිදෙන්න ඕනෙ හින්දයි. අත්තනගල්ල - ගලපිටමඩ පාරෙ ආපු වාසිය වුණේ මගදි හම්බුණු "අලවල" ගම්මානේ අලවල පොත්ගුල් ලෙන රජමහා විහාරය ළඟ ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිසුන් හිටපු ගල් ගුහා  විස්තර දැනකියා ගන්නත්  ලැබුනු හින්දා. අලවල ගම්මානෙ පාස් කරලා ගලපිටමඩ හරහා දුනුමාල හන්දියටත් ආවා ඔන්න කතාවෙන් කතාව.    

ඇයි මං "දුනුමාල" ගමට ආවේ?
ආදරණීය පාඨක ඔබ තමුන්නාන්සේලාට ඉහත ප්‍රශ්නෙ මේ වෙනකොටත් මතු වෙලා ඇති. ඕං ඒකටත් උත්තර බැඳලා ඉන්නම්කො.. මේ ගමේ තියෙනවා ලස්සන, පුංචි දිය ඇල්ලක්.. ඒ දිය ඇල්ල එක්ක බැඳුණු සොබා සොඳුරු සිරියෙ පැයක් දෙකක් තනිවෙලා ජීවිතේ මහන්සිය නිවාගන්න හිතුණා. ඇල්ල දැන් ළඟයි කියලා ජීවිතේ මහන්සිය ටික නිවෙන්න පටන් අරං තිබ්බ එක කෙසේ වෙතත් ගම්පහ ඉඳලා දුනුමාලට ආපු ගමන් මහන්සිය නම් මට දුනුමාලෙ හන්දියෙදි දැනුණා.


"දුනුමාල" ගමේ නම හැදුනු හැටි
දුනුමාල හන්දියෙන් හැරිලා ඇල්ල ළඟට කිලෝමීටර් 2ක් විතර යන්න ඕනෙ විතරක් නෙමෙයි බයික් එක නවත්තලා තව මීටර් 200ක් විතර පුංචි අඩිපාරක් දිගේ යන්නත් ඕනෑ කියලා ත්‍රී වීල් අයියා කෙනෙක් කිවා. දුනුමාල හන්දියෙන් ඇල්ල ළඟට යන පාර සවුත්තුයි. ඇල්ල ළඟට යනකන් මං කියන්නම් දුනුමාල ගමට නම ලැබිච්චි හැටි. සූර්ය බණ්ඩාර කියලා ප්‍රාදේශීය රජෙක් මේ පැත්ත පාලනය කරපු කාලේ තවත් ප්‍රාදේශීය රජ කෙනෙක් එක්ක එතුමාට යුද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා. සූර්ය බණ්ඩාර රජ්ජුරුවො තමන්ගෙ ආදරණීය බිසෝවරුන් හත්දෙනාව ගල් ගුහාවක පරිස්සමට හංගලා ආරක්ෂාව යොදවලා යුද්දෙන් රජ්ජුරුවො දිනුවොත් ඈත පේන කන්ද මුදුනේ "සුදු කොඩියක්" උස්සන බවත් පැරදුනොත් "රතු කොඩියක්" උස්සන බවත් කියලා යන්න ගියා. කොහොමෙන් කොහොම හරි රජ්ජුරුවො යුද්දෙ දින්නා.. කට්ටිය ජොලියක් දාලා ජයපැන් ෂොට් එකක් ගහන අතරෙ රජ්ජුරුවො තමන්ගෙ අතවැසියෙකුට කිව්වා දිනපු කතාව ගිහින් බිසෝවරුන්ට කියාපන් කියලා. යුධ ජයග්‍රහණයෙන් උදම් වෙලා හිටපු මිනිහා බිසෝවරුන්ට පණිවුඩේ දෙන්න යන අතරෙ බයිට් එකට ඌරුමස් කකා සෙට් එකක් ගහේ බඩු ගහනවා දැක්කා. යුධ ජයග්‍රහණය සමරලාම බිසෝලගෙ පණිවුඩේ දෙන්නම් කියලා මිනිහත් එතනටම සෙට් වුණා. පැයවලින් නෙමෙයි ඕං හෝරා වලින් හෝරා කීපයක් ගතවුණා. රජ්ජුරුවොත් දැන් මීගමු අලුවා කපන ගානට බඹර පදම් කට් වෙලා. අතවැසියා දැන් මේ වෙනකොට ගිහින් විස්තරේ කියලා ආපහු එනවත් ඇති කියලා රජ්ජුරුවො ගිහින් සූර්පිට රතු කොඩිය ඉස්සුවා බිසෝලාට පොඩි විහිලුවක් කරන්නම් කියලා. කරුමෙ කියන්නෙ ඒ වෙනකොටත් අර කාලකන්නියා ගහේ බඩු ගහනවා. "රතු කොඩිය" දැක්ක බිසෝලා අඬා වැළපිලා මැරෙන්නම කියලා හිතාගෙන කන්දකින් පහළට පැන්නා. ඒ පැන්න කන්ද අවට ප්‍රදේශය අද "දේවීන්පැන්නැල්ල" කියලා ලස්සන පුංචි ගම්මානයක් වෙලා. ඒ කතාව හින්දම සමහරු අපි මේ  බලන්න යන දිය ඇල්ල "අලවල දේවීන් පැන්න ඇල්ල" කියලාත් හඳුන්වනවා. කන්දෙන් පැනපු බිසෝලා හත්දෙනාගෙන් එකම එක බිසවක් කන්දේ වැල් ගාලක පැටලිලා බේරුණා. ගම්මු එකතු වෙලා බිසව බේර ගත්තට පස්සෙ ගමේ ප්‍රධානියා බිසවට සාත්තු සප්පායම් කරලා තියෙනවා. ගැබිණියක් වෙලා හිටපු බිසව පුත් කුමරෙක් බිහි කළා. රජතුමා මේ ආරංචියට දරුවා ප්‍රසූත කරපු තැනදී අර ගම් ප්‍රධානියාට තමන්ගෙ බෙල්ලෙ තිබ්බ වටිනා මාලෙ ගලවලා දීපු ප්‍රදේශය "දුන්නු මාලේ" හෙවත් "දුනුමාලේ" විදිහට කට වහරට ආපු බව ගම්මු කියනවා. මැරුණු බිසෝවරු "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්" විදිහට තුන් කෝරළය, හතර කෝරළයේ හා සියනෑ කෝරලේ සමහර ප්‍රදේශ ආරක්ෂා කරන බවට ගම්මු විශ්වාස කරනවා. අණ විණ හදි හූනියම්, ලෙඩදුක් කරදර වලට "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට බාරහාර වුණාම ඉක්මන් පිහිට ලැබෙනවාලු. වගේම අස්වනු කපා ගෙට ගෙන ප්‍රයෝජනයට ගන්න කලින් "දුනුමාල බිසෝ බණ්ඩාර දෙවිවරුන්"ට පූජාව තියනත් ගම්මු බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා. 
 

මෙන්න ඇල්ල

මෙන්න ඇල්ලෙ විස්තරේ
මේ දිය ඇල්ල දුනුමාල ඇල්ල, අලවල ඇල්ල, දේවින් පැන්න ඇල්ල, උඩුවක ඇල්ල යනාදී නම් කිහිපයකින්ම හඳුන්වනවා. ගම්පහ දිස්ත්‍රික්කයටම තියෙන දිය ඇලි දෙකෙන් උසම දිය ඇල්ල තමයි මේ දිය ඇල්ල. ගල් තලා තුනකින් බිමට ඇද හැලෙන මේ දිය ඇල්ලේ සම්පූර්ණ උස අඩි 40ක් විතර වෙනවා. ඇල්ල පාමුල තියෙන පුංචි ගල් වල අඩි 4 - 5ක් විතර ගැඹුරක් තියෙන හින්දා ඒ තරමට වඩා ටිකක් උස ඕනෙම කෙනෙකුට පරිස්සමට නා ගන්න පුළුවන්. (වතුරෙ තියෙන ගල් වල දිය සෙවෙළ තියෙනවා කියලා අමුතුවෙන් ලියන්න ඕනෙ නෑනෙ.)

සාමාන්‍යයෙන් දිය ඇල්ලක ලස්සන බලන්න වෙන්නෙ බිම ඉඳගෙන. දුනුමාල දිය ඇල්ලේ ඉහළට හරිම ලේසියෙන් නගින්න පුළුවන් හැබැයි පරිස්සමට. ඉහළ ඉඳලා පහළ බලන්නත් පුළුවන්, පහළ ඉඳලා ඉහළ බලන්නත් පුළුවන් අපූරු දිය ඇල්ලේ උඩට නගින්නම කියලා මගෙ හිත කිව්වා. 


ඇල්ල ලඟ සමාධිය
මං දිය ඇල්ලේ උඩට යන්න හදද්දි ගමේ කොල්ලෙක් දුවගෙන ආවා. ඒ පැත්තට දිගටම වැස්සලු. උඩ ලිස්සනව තනියම යන්න එපා කියලා මිනිහ මට අනතුරු ඇඟෙව්වා. මිනිහා ඒ ගමේමලු. ඇල්ල ගැනයි ගම ගැනයි මට මිනිහා ගොඩාක් විස්තර මං මිනිහගෙන් දැනගත්තා. මිනිහ හිටියෙ තනියම නෙමෙයි. තව 10-15ක සෙට් එකක් එක්ක. කට්ටිය ඇල්ල පල්ලෙහා බිබී හිටියෙ. ඒ සෙට් එක මිනිහගෙ කොළඹ යාළුවො ලු. මම තනියම ආවෙ ඇයි කියලා මිනිහා මගෙන් වටින් ගොඩින් ප්‍රශ්න කළා. මම මීඩියා එකකින්ද කියලා දෙතුන් පාරක්ම ඇහුවා. (නැතුවයැ ඉතින්, මිනිහ මට ඇල්ල ගැන පොඩි ඉන්ට්‍රඩක්ෂන් එකක් දීගෙන යද්දි පත්තරේ පුරුද්දට මාත් හාර හාර ප්‍රශ්න ඇහුවනෙ.) මීඩියා හරි හමීඩියා හරි ඌට වැඩක් නෑනෙ යකෝ ඇල්ල උගෙ බූදලයක්ද? මං ඉතින් ඒක මිනිහට කියන්න ගියෙ නෑ, මං මගෙ එනවුන්සින් කාඩ් එකක් මිනිහට දුන්නා, "මීඩියා නම් නෙමෙයි අයියෙ, මං පොඩි බිස්නස් එකක් කරන්නෙ. එනවුන්සින්, ඇඩ්වටයිසින්. ඇඩ් එකකට මෙතන නම් පට්ට අයියෙ"  මං වැඩි හොඳට මිනිහට එනවුන්සින් කාඩ් එකකුත් දුන්නා. මිනිහ පොඩි හිනාවක් දාලා මිසින් වුණා. මිනිහ ගියාට පස්සෙ මං දෙයියනේ කියලා නා ගත්තා. නාලා ගොඩ ඇවිත් කොහිල දළු මාලුවයි, පරිප්පුයි, මැල්ලුමුයි තිබ්බ ගෙදර බත් එක කන්න පටං ගත්තා දිය ඇල්ල දිහා බලාගෙන දිය ඇල්ලෙ හිරිපොද ඇඟට වැටෙන තරම් ළඟින් තිබ්බ පොඩි තැඹිලි ගහක් යටට වෙලා. ටිකෙන් ටික පොද වැටෙන්න ගත්තා මං හෙල්මට් එකයි රේන් කෝට් එකයි දාලා කුඩේ ඉහළ ගත්තා. කුඩේ යට වැස්සෙම බත් එක කෑවා. පොද වැස්ස මහ වැස්සක් වුණා. දිය ඇල්ලෙ වතුර බලාගෙන ඉද්දි වැඩි වුණා. කිරිසුදු පාටට තිබ්බ වතුර මඩ පාට වුණා. මම බලාගෙන හිටියා දිය ඇල්ල දිහා. කොච්චර වෙලා හිටියද කියලා මට මතක නෑ.. මම වශී වෙලා ඒ ලස්සනට.. ඇල්ලේ හැංගුනු ගුප්ත බවක් දැනුනා.. දාලා යන්නවත්, අහක බලන්නවත් මට හිත දුන්නෙ නෑ.. මං ඇල්ල දිහා බලාගෙනම හිටියා.  භාවනාවක් වගේ.. ඇල්ල ගැනම විතරක් හිත යොමු කරන්.. 

ඇල්ල "ඇඬෙන ඇඩ්වෙන්චර්"
මගේ අමුතු හැසිරීම දිහා අර ඩෝප් යාළුවො ගොඩාක් වෙලා බලං ඉන්න ඇති කියල මට හිතුනෙ එකෙක් යටිගිරියෙන් කෑගහන සද්දෙට මගෙ දැහැන බිඳුනාම. වැස්ස ටිකක් පෑව්වා. කට්ටිය තාම බොනවා. මම යන්න පිටත් වුණා. බයික් එක ළඟට ආවාම ආයෙ වැස්ස වැඩි කළා. මං ඒ ළඟම තිබ්බ වහලා දාපු පොල් අතු කඩේට රිංගුවා. පැය බාගෙකට විතර පස්සෙ ඩෝප් සෙට් එක උන්ගෙ වෑන් එකට ආවා. එකෙක් මගෙ බයික් එක ළඟට ගිහින් නම්බර් ප්ලේට් එක බලන්න වගේ පාත් වුණා. උන් ඔක්කොම මං දිහා බලනව. මහත බඩ තියෙන වයසක පොරක් මට පහළට කතා කළා. මං එසැණින් ඌ ළඟට ගියා. කොල්ලො ටික මාව වට කරගත්තා. උන්ගෙ මූණුවල ප්‍රශ්නාර්ථයක්???? එදා තමයි මට පළවෙනි වතාවට මගෙ ජීවිතේ ගැන බයක් දැනුනෙ. මැයි 05 සඳුදා. "ඇයි උඹ ෆොටෝ ගත්තෙ?", "පෙන්නපං ෆොටෝ", "උඹ අපි ගැන මීඩියා වලට දෙන්නද යන්නෙ කැ....යෝ" සද්ද ගොඩායි.. මට කතා කරපු වයසක එකා මාව ඇදලා ගත්තා වෙන පැත්තකට. "හරි හරි උඹලා හිටපල්ලා. බලමු මූ මොකාටද එන්නෙ කියලා" ඒ අංකල්ගෙ සද්දෙ. කලින් එකාට කියපු සින්දුවම ඌටත් කියලා මං කාඩ් එකකුත් දුන්නා. ගත්තු ෆොටෝ, වීඩියෝ ටික පෙන්නුවා. උන් දිය ඇල්ල උඩ නනා හිටපු එක ඩිලීට් කරන්න මට අණ ලැබුනා, මං එහෙම කළා. වයසක එකා මගෙන් ඇහුවා " තෝ මීඩියාත් නෙමෙයි නම් තනියම දිය ඇල්ලක් ළඟට ආවෙ පැනලා මැරෙන්නද හු.........??? ඇත්ත කියපන්" ඌ මගෙ අත තද කරගත්තා. ගණ දෙවි නුවණ පහළ වුණා. "අනේ අයියෙ මැරෙන්න නෙමෙයි ආවෙ, කෙල්ල එක්ක එන්න හිටිය ගමන මේ ඇල්ල බලන්න. ඒකි ආවෙ නෑ. මං ඔරොප්පුවට තනියම ආවා." ඉනික්බිතිව මා මගේ පැරණි බිඳුණු පෙම් පුවත නම් ගම් වෙනස් කරමින් අකුරක් නෑර නොවලහා එම කතාව හා ගළපමින් ඔහුට පැවසීමි. මිනිසත් බවින් පිරිපුන් ඒ පිරිපුන් සිරුරැති වයස්ගත වූ මානවයා මා තදින් වැළඳගත්තේය.  ඔහු මුවින් සැර මත්පැන් ගඳක් වහනය වුවද ඔහුගේ කුළුණුබර වදන් තුළින් එකී ගඳ මැකිණි. "අඩෝ පිස්සා.. පිස්සුද යකෝ උඹට.. කෙල්ලො ඔහොම තමයි.. ඔක්කොම අමතක වෙලා යන්නත් එක්ක වරෙන් ගහමු අඩියක්!" මා ඔහුගේ කාරුණික ඇරයුම කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ගෙන් සමු ගත්තෙමි.. නොනවත්වාම ඇදහැළුණු වර්ෂාව මධ්‍යයේ වුවද දුනුමාල හන්දියත් ගලපිටමඩ මඩ පිරුණු මංමාවත්ද පසු කරමින් නිට්ටඹුවත් පසු කොට ගම්පහට ආ මගේ සවන් පියන්පත් තුළ රැව් දෙන්නේ ඒ හැඩිදැඩි මිනිසාගේ වදනකි. "මල්ලී, මේපාර අපේ තර්ටි ෆස්ට් නයිට් ශෝ එකේ එනවුන්සර් උඹ. අපි කෝල් එකක් දෙන්නම්. පරිස්සමින් පලයන්!"

චාරිකා සටහන: තිළිණ සංදීප ජයසිංහ 

I'm at facebook