ඕම් නමඃ ශිවාය!
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක තුනෙන් ප්‍රධානම දිස්ත්‍රක්කය "ත්‍රිකුණාමලය" දිස්ත්‍රික්කයයි. ඒ නිසාම නැගෙනහිර පළාතේ පරිපාලන දිස්ත්‍රික්කය විදිහට කැපී පෙනෙන්නෙත් "ත්‍රිකුණාමලය"යි. අපේ රටේ ඉස්සෙල්ලාම හිරු උදා වෙන්නෙ හිරු ත්‍රිකුණාමලයට. මුළු ලෝකයේම අවධානය දිනාගත්තු "දකුණු ආසියාවේ විශාලතම ස්වභාවික වරාය" තියෙන්නෙත් ත්‍රිකුණාමලයේ. නිලාවේලි මුහුදු තීරය හා පරෙවි දූපත, කින්නියා උණු දිය උල්පත් ළිං වගේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනා ගත්තු තැන් බොහෝමයක් ත්‍රිකුණාමලයේ තිබෙනවා. මං මේ කියන්න හදන්නෙ ඒ එකක් ගැනවත් නෙමෙයි. ත්‍රිකුණාමලයේ ශිව දෙවියන් හට කැපවූ කෝනෙෂ්වරම් කෝවිල ගැනයි. පහුගියදාක මං තට්ට තනියම ත්‍රිකුණාමලේ ගියෙත් මේ පුදබිම දැක වැඳ පුදා ගන්න. "ශිව දෙවිඳුන්"ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතේට ආධ්‍යාත්මික ආලෝකයක් ලබාගන්න.
පෙර ගමන්
"ඊෂ්වරම්" ප්‍රත්‍යය අගට එක්ව සෑදුනු නම් ඇති, අපේ රටේ ඊශ්වර හෙවත් ශිව දෙවියන් උදෙසා වෙන්වූ සිද්ධස්ථාන 5 ක් ගැන හින්දු ආගමික ඉතිහාසයේ සඳහන් වෙනවා (පංච ඊෂ්වරම්). රාවණා රජතුමා තැනවූ ත්‍රිකුණාමලයේ "කෝනේෂ්වරම්", රාවණා රජතුමාගේ මාමණ්ඩිය වන "මායා" විසින් තැනවූ මන්නාරමේ තැනවූ "තිරුකේතීස්වරම්", හලාවත "මුන්නේස්වරම්" කෝවිල හා යාපනයේ "නගුලේස්වරම්" හා මාතර "තොන්ඩීෂ්වරම්" තමයි ඒ කෝවිල්. මාතොට හෙවත් මාතර "තොන්ඩීෂ්වරම්" කෝවිල අද එතැන නෑ (එතැන දැන් තියෙන්නෙ ඔබ කවුරුත් දන්නා "දෙවිනුවර උපුල්වන් දේවාලය"යි.)
පංච ඊෂ්වරම් පුදබිම් |
තිරුකෝනේෂ්වරම් හෝ කෝනේෂ්වරම් යන නම් වලින් හැඳින්වෙන, මම වැඳ පුදාගත්තු, ඔබට තොරතුරු කියන්න හදන මේ කෝවිල ශිව දෙවියන් උදෙසා ලොව පුරා ඉදිවෙලා තියෙන පුදබිම් අතරින් වඩාත්ම බලවත් කෝවිල බව හින්දු බැතිමතුන් විශ්වාස කරනවා. ශිව දෙවිඳුන්, පාර්වතී දේවතාවිය වැඩ සිටි, කුඩා කාලයේ ගණදෙවියෝ හා මුරුගන් (කතරගම දෙවියෝ) ඇතුළු දේව කුමාරවරු මෙහි කෙළි සෙල්ලම් කළ පින් බිමක් යැයි ඔවුන් තරයේ අදහනවා. කෝනේශ්වරම් කෝවිල තියෙන කඳුගැටය (ස්වාමි කන්ද) ගැන කියැවෙන ජනප්‍රවාදයකට අනුව අතීතයේ දෙවියන් අතර හටගත්තු ගැටුමක ප්‍රතිඵලයක් විදිහට දෙවියන් වැඩ විසූ රන් කන්දෙන් කොටසක් කැඩිලා වැටුනු කෑල්ල තමයි මේ කඳුගැටය.
රාවණා රජ්ජුරුවෝ එකල ඍෂිවරු, මුනිවරු වගේ භාවනායෝගීන් ජීවත්වුණු "ගෝකණ්ණාශ‍්‍රමය" භූමියේදී (වර්තමාන කෝනේෂ්වරම් කෝවිල තියෙන තැන) ශිව දෙවියන් උදෙසා දැඩි ව‍්‍රතයක් සමාදන් වූ බව ජනවහරේ සඳහන් වෙනවා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ටයි උන්වහන්සේගේ බිරිඳ වූ පාර්වතී දේවියටයි වන්දනාමාන කළේ, ගරු සරු දැක්වූයේ තමන්ගේම අම්මයි තාත්තයි විදියට සලකලා. රාවණා රජ්ජුරුවෝ තමන්ගේ පිතෘවරයා විදියට සලකන ශිව දෙවියන්ගෙන් "අමරණීයත්වයට පත් වීමට" වරමක් ඉල්ලුවා. "ඔබ කිසිවකුත් අතින් නොමැරිය යුතු කෙනෙක්" යැයි එදා රාවණ රජ්ජුරුවන්ට ශිව දෙවිඳුන් වරම් දුන්නේ මේ කෝනේෂ්වරම් පිංබිමේදී. මහා රාවණ රජ්ජුරුවෝ මේ භූමියේදී යෝග ධර්ම වඩද්දී විශ්වයෙන් ලැබුණු ශබ්ද තරංගයක් අනුව, ශිව දෙවියන්හට නමස්කාර කරන මහා බලවත් "ශිව තාණ්ඩව ස්ත්‍රෝත‍්‍රය" නිර්මාණය කරන්නටත් යෙදුනා.
ශිව-පාර්වතී දේව ශක්තියත්, රාවණා රජුගේ ආධ්‍යාත්මික ශක්තියත් මේ බිමේ ගැබ්ව පවතින නිසා මේ පිං බිම මහා අනුහස් ඇති බිමක්.
ශිව දෙවි වන්දනාව අපිට කැපද?
අපේ රට එදා හැඳින්වුණේ හෙළයාට අයිති රට, "හෙළය" හෙවත් "හෙළ දිවයින" කියලා. "ආර්ය ජාතියක්" වන හෙළයෝ පාරම්පරික ශිව භක්තිකයෝය. අදින් වසර හත්දහස් පන්සියයකටත් විතර කළින් හෙළ දිවයිනෙත්, හෙළයන්ගෙත් මහ රජු විදිහට ලොව සුපතළ වුණු රාවණා රජ්ජුරුවෝත් දැඩි ශිව භක්තිකයෙක්. ඒ බව රාමායණයේ සඳහන් වෙනවා. රාවණ රජ්ජුරුවන්ගේ මෑණියොත් දැඩි බිසව වූ මන්දෝදරි දේවියත් දැඩි ශිව බැතිමතුන්, ශිව අනුගාමිකයන්. එකල රාවණ රාජ්‍යයේ ප්‍රධාන ආගම වූයේ ශිව ආගම. රාවණා රජ්ජුරුවෝ දෙවතාවක් අපේ මේ ලක් පුරය ශිව දෙවියන් උදෙසා පූජා කළ බව ඉතිහාස ග‍්‍රන්ථවල සඳහන් වෙනවා. රාවණා රජ පරපුරේ රජවරු දස දෙනෙක් ගැන අපේ ඉතිහාසයේ සඳහන් වෙනව, ඒ සියළු දෙනාත් රටවැසියනුත් ශිව භක්තිකයන්ය. බුදු දහම ලංකාවට පැමිණීමත් එක්ක අපේ අතීත ලක් වැසියෝ බුදු දහම වැළඳ ගත්තට කිසිම වෙලාවක ශිව දෙවියන්ව අමතක කළේ නෑ. එහෙත් අද ශිව දේව වන්දනාව සිංහලයන් අතරින් ඈත්ව ගිහින්. ලක් පොළොවේ පළමු භාරකරුවා ලෙස වන්දනාමානයට පාත්‍ර වූ "ශිව" දෙවිඳුන්ව අති බහුතරයක් අපේ සිංහල ජනතාවට දැන් මතක් වෙන්නේ "දරුඵල ප්‍රමාද වෙද්දී" හෝ "ට්‍රිප් එකක්" ගියාම යන්න තැනක් හොයද්දි. මීළඟ පාර බුදුන් වැඳලා දෙවියන්ට පිං දෙද්දි "ශිව" දෙවියන්ටත් පිං දෙන්න දැන් ඔයාලට හේතුවක් තියෙනවා නේද? (අපි කළගුණ සළකන ජාතියක් නේද?)
වන්දනාවෙ යං එහෙනං
පුළුවන් විදිහකට ත්‍රිකුණාමලේට එන්නකෝ. ත්‍රිකුණාමලේ කවුරුත් දන්න මධ්‍යම බස් නැවතුම්පොළ (බස් ස්ටෑන්ඩ් එක) ළඟ ඔරලෝසු කණුව ළඟින් නව බස් නැවතුම්පොළත්, මාළු වෙළෙඳපොළත් අතරින් වැටිලා තියෙන "කෝනේසර්" පාරේ මීටර 500ක් විතර ඇවිදගෙන යමු. (වයසක අයයි, පයින් යන්න කම්මැලි අයයි වාහනේම එන්න) බස් ස්ටෑන්ඩ් එකේ හැමතැනමත් කෝනේසර් පාර දිගේත් හීලෑ මුවෝ රංචු රංචු ඉන්නවා බලන්න ලස්සනේ බෑ..
වාහනවල යද්දි ඒවා බලන්න බෑ ඉතින්.. ඔහොම යද්දි මුහුදට මායිම් වුණු තුන් මං හන්දියක් හම්බෙනවා. හන්දියෙන් වම් අත පැත්තට තියෙන "2වන බලඇණිය ගජබා රෙජිමේන්තුව" ගල් පුවරුවත් එක්ක තියෙන පාරේ හමුදා මුර කපොල්ල පහු කරගෙන මීටර 100ක් විතර ගියාම "ෆෙඩ්‍රික් කොටුවට" ඇතුළු වෙන්න පුළුවන්. (කොටුව ගැන පොඩි විස්තරයක් පස්සෙ කියන්නම්කෝ).
කොටුවට ඇතුළු වෙන්න පුළුවන් සැහැල්ලු වාහන වලට විතරක් නිසා අනිත් වාහන තුන්මං හන්දිය ළඟ කොහෙ හරි නවත්තන්න වෙනවා. කොහොම හරි වාහනේක කොටුවට ඇතුළු නොවී පයින් යන අයගේ තනි නොතනියට මුව රංචු ගොඩකුත් ඉන්න බව අමතක කරන්න එපා. පාරේ වම් පැත්තෙන් පරණ කාලතුවක්කු ටිකකුත් ඕලන්ද බොක්ක පැත්තට අටෝලා තියෙනවා.
කෝවිල ළඟටම වාහනෙන් යන්න පුළුවන් වුණත් පරිසරයේත් ගමනේත් අසිරිය රසවිඳින්නට පයින් ගමන හොඳයි කියලා තමයි මං කියන්නේ.. කන්ද පාමුල මාර ගස් හෙවනේ තියෙන යුද හමුදා සුභසාධක කැන්ටිමෙන් මහන්සි නම් තේ එකක් බොන්නත් පුළුවන්..
මම නම් ඔරලෝසු කණුව ළඟ ඉඳල කෝවිලටම තියෙන කිලෝමීටර් 1 හමාරක විතර සම්පූර්ණ දුර පයින් ගියේ, සනීපෙට මූදු හුලං වැදි වැදි මුව පැටවුන්ගෙ කෙළි සෙල්ලම් බල බලා, සොබා අසිරි සිරි විඳ විඳ..
කෝවිල පේනතෙක් මානයේ තියෙන කඩ පේළියෙන් අවශ්‍ය පූජා භාණ්ඩ මිලට ගන්න පුළුවන්. (දේව රූප, රසකැවිලි, මාල වළලු, සෙල්ලම්බඩු, සමරු සිහිවටන වගේ එක එක දහසකුත් දේවල් තියෙන පොඩි පොඩි කඩ කෝටියයි)
ඔබ මේ කෝවිලට යන්නේ ශිව දෙවියන් වැඳපුදාගන්න.. ඔබ දැන් මේ ඇතුල්වෙන්න හදන පිං බිමේ එදා ශිව දෙවිඳුන් පාර්වතී දේවියත් ගණපති හා මුරුගන් දරු දෙදෙනාත් සමග සෙනෙහසින් වැඩ සිටිබව, කෝවිලට ඇතුළු වෙන්න කලින්ම ඔබට සිහිපත් කරවාලීමෙහි සමත් පිළිරූ පෙළක් ඔබේ දකුණු පැත්තෙන් හමුවෙනවා.
හින්දු බැතිමතුන්ගේ පූජනීය සිද්ධස්ථානයක් වන තිරුකෝනේෂ්වරම් කෝවිලට ඇතුළුවෙද්දි පාවහන් හිස්වැසුම් ගලවලා, "ට්‍රිප් මානසිකත්වෙන්" මිදිලා, සන්සුන් වෙන්න. කෝවිල ඇතුලේ කෑකෝගහන්නෙ නැතුව, සංවරව හැසිරෙන්න කියලා කාරුණිකව ඔයාලගෙන් ඉල්ලන්නෙ ඉතාම ආදරෙන්..
කෝවිලකට ඇතුළුවෙද්දි අත්, පා සෝදන එක හින්දු බැතිමතුන්ගෙ චාරිත්‍රයක්. අපිත් කෝනේෂ්වරම් කෝවිලට ඇතුළු වෙන්න ඕනෑ ඒ විදිහට. ඒකට වෙනම තැනක් කෝවිලට ගොඩවෙන පඩිපෙළ පාමුළ තියෙනවා.
පඩිපෙළ පාමුළින් පා සෝදා ගන්න |
ඔබේ දෑස් මානයේ විරාජමාන වන අහස්කුස සිඹින ශිව දෙවිඳුන්ගේ මහා පිළිරුව පසු කොට
කෝවිලට ඇතුළු වෙන්න.
කෝනේෂ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ අපේ රාවණා රජ්ජුරුවෝ එතැන.. කෝනේශ්වරම් කෝවිලට ඇතුළුවන ප්‍රධාන දොරේ උඩින්ම තියෙනවා එක්තරා විශේෂිත මූර්තියක්. ශිව දෙවියන්, පාර්වතී දේවිය සහ අපේ රාවණා රජ්ජුරුවෝ එතැන..
අලුතෙන් තීන්ත ගාන හින්දයි මේ යකඩ පලංචි |
රජ මාලිගාවේ ඉන්න (අද කැලණියේ) රාවණා රජ්ජුරුවන්ගෙ මෑණියන්ට පහසුවෙන් ශිව වන්දනාවෙ යෙදෙන්න ශිව ලිංගයක් ගෙනත් දෙන්න ඕනෑ කියලා එතුමා ගියා ශිව දෙවියන් වැඩ විසූ කෛලාශකූට පර්වතයට. එතනදී රාවණා රජතුමාට දැකගන්න ලැබුණා බ්‍රාහ්මණයෙක්. බ්‍රාහ්මණයෙක් විදියට වෙස් වළාගෙන හිටියේ මහා ශිව දේවතාවුන් වහන්සෙ. උන්වහන්සෙ එතැනදි රාවණා රජ්ජුරුවන්ට කිව්වා කෝනේශ්වරම් කන්දේ ශිව ලිංගයක් තියෙනවා කියලා. ඊටපස්සෙ රාවණා රජ්ජුරුවෝ ගියා අද අද කෝනේශ්වරම් කෝවිල තියෙන තැනට. එතැනදී රාවණයන්ට ශිව දෙවියන් හමුවුණා. රාවණා රජ්ජුරුවෝ ශිව දෙවියන්ට කිව්වා තමන්ට ශිව ලිංගයක් ලබාදෙන්න කියලා. ශිව දෙවියන්ගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් නොලැබුණු නිසා රාවණයන් කල්පනා කළා ශිව ලිංගය තියෙන කන්ද කපාගෙන රජ මාලිගාවට අරං යන්න. මහා බලසම්පන්න රාවණා රජ්ජුරුවෝ ඒ වෙනුවෙන් තමන්ගෙ කඩුවෙන් ශිව ලිංගය තිබ්බ තැන ගල කැපුවා. ඒ තමයි අද "රාවණ කැපුම" කියලා හඳුන්වන්නේ.
පස්සෙ කාලෙක මෙතැනින් පැන දිවි නසාගත් සුදු ජාතික කාන්තාවක් හේතුවෙන් මෙතැන "ලවර්ස් ලීප්" කියලත් හඳුන්වන්න පටං ගත්තා, ඒත් ඒ වගේ අපරාධයකට අදාල නමක් කියනවාට වඩා අපේ උත්තම රාවණා රජ්ජුරුවන්ව සිහිපත් වෙන "රාවණා කැපුම" හෝ "Ravana's Cleft" කියලා අපි මෙතන හඳුන්වමු.
රාවණ කැපුම |
රාවණ රජ්ජුරුවෝ මේ කරපු වැඩේට ශිව දෙවියෝ කෝප වුණා. ඊට පස්සෙ ශිව දෙවියෝ එකපාරටම උන්වහන්සේගේ කකුල උස්සලා රාවණගේ හිස මත මෘදු ලෙස තැබුවා. පාර්වතී දේවියත් තමන්ගෙ කකුල උස්සලා රාවණගෙ හිස මත මෘදු ලෙස තැබුවා. ශිව - පාර්වතී යුවළගේ මේ වැඩේ හින්දා රාවණා රජ්ජුරුවන්ට එතැනින් ශිව ලිංගය ගෙනියන්න ලැබුණෙ නෑ. ශිව - පාර්වතී යුවළගේ දිව්‍ය කෝපයට ලක්‌වූ රජු, සමාව අයදිමින්, තම එක් හිසක් කපා වීණාවක් සකස් කර "සාමවේදය" ගායනය සිදුකරලා තියෙනවා. එතැනදී නැවතත් ශිව-පාර්වතී ආශීර්වාදය රාවණට හිමි වුණා. ඊට පස්සෙ එතැන රාවණා රජ්ජුරුවෝ ශිව ලිංගය තැන්පත් කරලා දැවැන්ත කෝවිලක් හැදුවා.
ශිව දෙවියන් හා පාර්වතී දේවිය රාවණා රජ්ජුරුවන්ගේ හිස මත තම කකුල් තියාගෙන ඉන්න මූර්තියෙන් නිරූපණයවෙන කතාව දැන් දන්නවානෙ. "රාවණා රජ්ජුරුවො හැදුවා නම් මේ කෝවිල ඒ තරමටම පරණ වෙන්න එපායැ" කියල ඔබට ප්‍රශ්නයක් මතු වේවි, කෝවිලේ අලුත් අලුත් ඉදිකිරීම් දැක්කාම ඔබට එහෙම හිතෙන්නෙ නැති එක සාධාරණයි.
1622 අප්‍රේල් 14 වැනිදා හින්දූන් අලුත් අවුරුදු උදාව සමරන දවසේ හිත් පිත් නැති පෘතුගීසි සෙනෙවියෙකු වූ කොන්ස්ටන්තිනෝ ද ෂා ඇතුළු පෘතුගීසි හමුදාව කෝනේෂ්වරම් කෝවිලත් ඒ අසලම පිහිටා තිබූ මහසෙන් රජතුමා විසින් ක්‍රි.ව. 275දී කරවන ලද ගෝකණ්න විහාරයත් විනාශ කරනු ලැබුවා.
පෘතුගීසි ප්‍රහාරයෙන් පූජනීය ශිව ලිංගය, දේව ප්‍රතිමා රැක ගැනීමට පූජකයන් සැඟවුණා |
පෘතුගීසීන් අතින් විනාශ වූ අහස් කුස සිඹින කණු දහසකින් විරාජමාන වූ හෙබි පැරණි තිරුකෝනේස්වරම් දේවාලයේ එක් කැටයම් කණුවක් කෝවිල් භූමියේ කඳුගැටය මුදුනේ අදද දැක ගත හැකියි.
කණු දහසේ ශිව දෙව් මැදුරේ ඉතිරිවූ එකම කණුව
|
දැන් අපට දක්නට ලැබෙන කෝවිල 1963දී අලුත්වැඩියා කරලා ඊට පස්සෙ වෙන වෙන අලුත් අංග එකතු වෙච්චි අලුත් කෝවිලක්. පෞරාණික බව පෙනෙන්නට ඇත්තේ ගොඩනැගිලිවල නොවෙයි, ශිව ලිංගය හා දේව ප්‍රතිමාවලයි. මොන ආක්‍රමණයක් වුණත් මේ පින් බිමේ ගැබ්වුනු ආධ්‍යාත්මික ශක්තිය විනාශ කරන්න ඒ කාටවත් බැරිවෙලා තියෙනවා.
ඉස්කෝලෙ විද්‍යාව ඉගෙන ගෙන, හැම දේම භෞතික විද්‍යා ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අල්ල ගන්න උත්සහ කරන, හුරු පුරුදු වෙච්චි මේ ලිපිය කියවන අයට මං කියන "ආධ්‍යාත්මික ශක්තිය" වගේ දේවල් විහිලුවක් වේවි. අසැල්වැසි ඉන්දියාවේ රාජ්‍ය නායකයාත් ආධ්‍යාත්මික ගවේශණයේ යෙදෙන කෙනෙක්, ඒ ශක්තිය රාජ්‍ය පාලනයට යොදාගන්න බුද්ධිමත්ව වැඩ කරන නායකයෙක්. තාමත් ඉන්දියාවේ ආධ්‍යාත්මික ශක්තියෙන් වැඩ ගන්න මිනිස්සු ඉන්නවා. ආධ්‍යාත්මික ගවේෂණයෙන් අපේ රටේ මිනිස්සු ඈත් වීමේ දුර්විපාක උදේ හවා ජනමාධ්‍යන්ගෙන් මම නම් දකිනවා..
හ්ම්ම්.. දැන් ඇති විස්තර කිව්වා.. දැන් ඉතින් ආපු කාරණාවට ලැහැස්ති වෙන්න ඕනෑ.
උදේ 6.30, දවල් 11.30, හවස 4.30 යන වේලාවලට පූද පූජා කටයුතු දවසකට තුන්වරක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් සිරිතක් හැටියට දහවල් එකේ සිට හවස තුන දක්වා පූජා කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ඒත් යන එන බැතිමතුන්ට වැඳුම් පිදුම් කිරීමට ඒකෙන් කිසිම බාධාවක් නැහැ.
පූජා වට්ටිය කුරුක්කල්තුමන්ලාට භාර දෙන්න කලින් පඬුරු තියන්න එපායැ. පූජා වට්ටිය උඩ සල්ලි කොළ තියලා පඬුරු ඔප්පු කරන සිරිත කෝනේෂ්වරම් කෝවිලේ නැති හින්දා කාර්යාලයට ඔබට කැමති මුදලක් ගෙවලා, ඔබේ බාරහාර වෙන කාරණා සියල්ල ලියපු රිසිට් එකක් ඉල්ලගන්න. ඒ රිසිට් එක පූජා වට්ටිය උඩින්ම තියලා පූජා වට්ටිය කුරුක්කල්තුමෙකුට භාර දෙන්න. ඊටපස්සෙ හිතින් ශිව දෙවියෝ එක්ක සමාධිගත වෙන්න ඔයා ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා. කුරුක්කල්තුමා ඉතුරු කටයුතු ටික බලා ගනීවි. මස් මාළු වගේ පිළී සහිත කෑම කන්නේ නැති, 100%ක් නිර්මාංශ, දෙවියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන්ම කැපව සිටින සෘෂි පරම්පරාවකින් පැවත එන බ්‍රාහ්මණ කුල කුරුක්කල්තුමන්ලා එක්ක කතා කරලා ඔබේ අවශ්‍යතාව අනුව භාර හාර වෙන දේවල් ගැන කතාබහ කරගන්න.
උදේ 6.30, දවල් 11.30, හවස 4.30 යන වේලාවලට පූද පූජා කටයුතු දවසකට තුන්වරක් පැවැත්වෙනවා. සාමාන්‍යයෙන් සිරිතක් හැටියට දහවල් එකේ සිට හවස තුන දක්වා පූජා කටයුතු සිදු කෙරෙන්නේ නැහැ. ඒත් යන එන බැතිමතුන්ට වැඳුම් පිදුම් කිරීමට ඒකෙන් කිසිම බාධාවක් නැහැ.
පූජා වට්ටිය කුරුක්කල්තුමන්ලාට භාර දෙන්න කලින් පඬුරු තියන්න එපායැ. පූජා වට්ටිය උඩ සල්ලි කොළ තියලා පඬුරු ඔප්පු කරන සිරිත කෝනේෂ්වරම් කෝවිලේ නැති හින්දා කාර්යාලයට ඔබට කැමති මුදලක් ගෙවලා, ඔබේ බාරහාර වෙන කාරණා සියල්ල ලියපු රිසිට් එකක් ඉල්ලගන්න. ඒ රිසිට් එක පූජා වට්ටිය උඩින්ම තියලා පූජා වට්ටිය කුරුක්කල්තුමෙකුට භාර දෙන්න. ඊටපස්සෙ හිතින් ශිව දෙවියෝ එක්ක සමාධිගත වෙන්න ඔයා ආපු කාරණාව ඉෂ්ඨ සිද්ධ කරලා දෙන්න කියලා. කුරුක්කල්තුමා ඉතුරු කටයුතු ටික බලා ගනීවි. මස් මාළු වගේ පිළී සහිත කෑම කන්නේ නැති, 100%ක් නිර්මාංශ, දෙවියන්ගේ ආවතේව කටයුතු වෙනුවෙන්ම කැපව සිටින සෘෂි පරම්පරාවකින් පැවත එන බ්‍රාහ්මණ කුල කුරුක්කල්තුමන්ලා එක්ක කතා කරලා ඔබේ අවශ්‍යතාව අනුව භාර හාර වෙන දේවල් ගැන කතාබහ කරගන්න.
"ෂන්මුගරත්නම්" ප්‍රධාන කුරුක්කල්තුමා විසින් පහන් පූජා පවත්වමින් |
පූජාව අවසානයේ කුරුක්කල්තුමෙක් ඔබ ගෙනාපු පූජා වට්ටි ඔබේ අතටම ආපහු භාර දෙනවා. පොල් ගෙඩියක් එක්ක භාර දීපු පූජාවට්ටි වලට, කුරුක්කල්තුමන්ලා පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කරලා ඔබේ අතට දෙන හින්දා පරෙස්සමට ගන්න ඕනෑ. ඒ පොල්ගෙඩිය අරං ගිහින් කෝවිලෙන් පිටත ඇති පොල් ගහන තැන ගහලා ඔබේ කාරණාව ඉෂ්ඨ වෙන්න ප්‍රාර්ථනා කරන්න.
"ප්‍රසන්නම්" දෙවැනි කුරුක්කල්තුමා විසින් බැතිමතුන් දෙවියන්ට පූජා කළ පූජා වට්ටි ආපසු ලබා දෙමින්.. |
පොල් ගහන තැන ළඟ තියෙන කෝවිලේ පිටුපස දොරටුව |
හරිනෙ.. පොල් ගැහුවනෙ.. පොල් ගහන තැනින් පහලට බහින්න තියෙන ප්‍රදේශයේ රාවණා පිළිරුවක් පිහිටුවලා තියෙනවා. ඒ පැත්තෙ විස්තරයක් කියන්න බෑ, එතැනින් පහලට පැනලා ගෑනු කෙනෙක් මැරුණු හින්දා දැන් එතැන ඉබ්බො දාලා ලොක් කරලා තියෙන්නෙ. කාටවත් යන්න දෙන්නෙ නෑ.. ඒ හරියෙ විස්තර ඉස්සර ගිය කෙනෙක්ගෙන් අහලා දැනගන්න. පහල ලින්ක් එකෙත් එතැන ෆොටෝ වගයක් තියෙනවා බලන්නකෝ.. (මම ගත්තුවා නෙමෙයි හැබැයි)
http://www.koneswaram.com/trincomalee-koneswaram-gallery/27/thala-virutcha-sivalingam
කෝවිල ඇතුලෙ බිත්තිවල තියෙන රාවණා - කෝනේෂ්වරම් කතා පුවත ඇතුලත් මූර්ති (මම ඉහත සමහර තැන් වල යෙදුවා ), ශිව හා පාර්වතී දේවියගේ විවිධ ස්වාරූප ඇතුලත් චිත්‍ර හා මූර්ති බලන්නත් අමතක කරන්න එපා.
කෝවිල වටේ බිත්තිවලත් දැවැන්ත ශිව - පාර්වතී චිත්‍ර ඇඳලා තියෙනවා.
http://www.koneswaram.com/trincomalee-koneswaram-gallery/27/thala-virutcha-sivalingam
කෝවිල වටේ බිත්තිවලත් දැවැන්ත ශිව - පාර්වතී චිත්‍ර ඇඳලා තියෙනවා.
කෝවිල් බිමේදී ඔයාගෙ නෑදෑ වෙන කෙනෙක් හම්බුනානෙ..
එයාගෙ ෆොටෝ එකකුත් ඔන්න පහලින් දැම්මා..
ටිකක් භාවනා කරමුද?
අලුතෙන් සෑදූ ශිව ලිංගයක්, ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති දෙකක් (1944දි බ්‍රිතාන්‍යයන් ෆෙඩ්‍රික් කොටුව ළඟ මුහුදෙන් හොයාගෙන තියෙන්නෙ) එක්ක නිස්කලංක බිම් කඩක් කෝනේෂ්වරම් කෝවිලට එකතු වෙලා තියෙනවා.
අලුතෙන් සෑදූ ශිව ලිංගය |
ඉපැරණි විෂ්ණු හා ලක්ෂ්මී මූර්ති |
කෝවිලට ඇතුළුවෙන පඩි පෙළ ළඟ, රාවණා කැපුම ළඟ තියෙන මේ කොටස හදලා තියෙන්නේ භාවනා කරන්න කැමති බැතිමතුන්ට ඉඩකඩක් හදලා දෙන්න. එදා රාවණා රජ්ජුරුවො හා මුණිවරු භාවනා කරපු පින් බිමේ ටිකක් හිත නිවෙන්න භාවනා කරන්න දැන් ඔබටත් පුළුවන්..
මේ වීඩියෝව නම් මං ගත්තු එකක් නෙමෙයි, ඒත් මේකත් බලන්නකො.. මේ තියෙන්නෙ මං අර කියපු භාවනා කරන තැන..
තිරුකෝනේෂ්වරම් පුද බිමේ දරුවන් නොමැති බැතිමතුන්ට කරන භාරහාරයන්ගෙන් ප්‍රතිඵල ලැබෙන බව වඩාත් ජනප්‍රියයි. තොටිල්ලක් සාදා භාරයක් ඔප්පු කළ යුතු මෙම කෝවිලේ භාරවීමෙන් දරුවන් ලැබූ මවුවරුන්ගේ භාරහාර දස දහස් ගණනක් දැක ගන්න පුළුවන්.. ග්‍රහ අපළ නිවාරණයට, නිරෝගී සම්පත්තිය, රැකීරක්ෂා බලාපොරොත්තු, රැකී රක්ෂා හා ව්‍යාපාරයන්ගේ දියුණුව ආදිය ගැන බාරහාර වීමුත් මෙහිදී වැඩි වශයෙන් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ගවේෂණයක නියැලෙන්නන්ට, යෝග ධර්ම වඩනා අයට ශිව දෙවිඳුන්ගේ පිහිටාරක්ෂාව නිතැතින්ම හිමිවෙනවා.
ආයෙත් දවසක ඔයාලා ෆන් එකට ට්‍රිප් එකක් ගියොත් ත්‍රිකුණාමලේට,
මං කියපු දේවල් මතක තියාගෙනම කෝනේෂ්වරම් වැඳපුදාගන්න.
#
ඕම් නමඃ ශිවාය!
තිළිණ සංදීප ජයසිංහ
අැත්තටම වටින ලිපියක් ඹබට ශිව දෙවියනගේ පිහිටයි.
ReplyDeleteඔම් නමඃ ශිවාය෴
අැත්තටම වටින ලිපියක් ඹබට ශිව දෙවියනගේ පිහිටයි.
ReplyDeleteඔම් නමඃ ශිවාය෴
ස්තුතියි යාලුවා
ReplyDeleteස්තුතියි යාලුවා
ReplyDeleteස්තුතියි යාලුවා
ReplyDeletethanks your information
ReplyDeleteI wont to help mr Sandeepa..i am preppre rreserch about koneshwaran dewalaya. can u help me
ReplyDeleteThnks.......
ReplyDeleteවටිනා ලිපියක් කෝනේෂ්වරම් ගියා වගේ
ReplyDeleteගොඩක් දේවල් දැන ගන්න ලැබුණා.බොහොම ස්‍තූතියි
ReplyDeleteස්තුතියි
ReplyDeleteඒ brother මට හිතෙන්නේ ඔතනට හින්ෂදු අබාසය ආවේ 19සියවසේ වෙන්න ඔනේ.... මුල් කාලයේ සිංහලයන් දේවාල ඉදිකරපු තැන්වල තමා පසුකාලනිව හින්දුන් කෝවිල් හැදුවේ....රාවනගේ කාලේ දේවාල සම්ප්‍රදාය පසුව බුදුදහම ආවත් එක්ක අපෙන් ඈත්වුනා ඒක හින්දුන් වැලදගත්තා....
ReplyDelete