අපේ ගෙට එහා පැත්තෙ තමයි ගම්පහ අහල පහළ අය අතර බොහොම ජනප්‍රිය ජ්‍යොතිෂ ආයතනයක් වෙන දෙව්සෙත ජ්‍යොතිෂ ආයතනය තියෙන්නෙ. ඒකෙ ජ්‍යොතිෂ පංති හැම සෙනසුරාදාවකමයි ඉරිදාවකමයි තියෙනවා. ඒ අපේ අල්ලපු ගෙදර හින්දා අපේ ගෙවල් පැත්ත ගැන කියද්දි ඒ ගැන නොකියාම බෑ.. ඒ හින්දමද කොහෙද පිනට දහමට ලැදි අය ඉන්න පැත්තක් කියලා හිතන හින්දාද මන්දා මහ පාරෙ යන පිළිකා ආධාර වෑනුයි, පංසල් සංවර්ධන ආධාර පත්‍රයි, නානාප්‍රකාර හිඟන්නොයි කෙළවරක් නැතිව අපේ ගෙවල් අහල පහළ කැරකෙන්නෙ.. සෙනසුරාදා, ඉරිදා, පෝය වගේ නිවාඩු වලට වැඩියි. එක එකා ඇවිත් ගේට්ටුවට ගහලා ගහලා ගේට්ටුව ඇද වෙයි කියන බයට අපේ මලයා හයි කරපු බෙල් එක ගහලා හිඟන්නො දැන් බොහොම වැදගත් විදිහට හිඟා කනවා. කණක් ඇහිලා ඉන්න නෑ නිවාඩු දවස් වලට.. මම ගෙදර ඉන්න දවසට මට තමා බෙල් එක වදිද්දි බලන්න වෙන්නෙ.
සෙනසුරාදා / ඉරිදා අඩුම ගානෙ මගෙ රුපියල් 10කට - 20කට අනිවාර්යෙන් තට්ටු වෙනවා. ගෙදර කවුරුවත් නෑ කියලා හරි ගේට්ටුව අරින්නෙ නැතුව ඉන්න හරි අපේ ගෙදර එවුන්ට වාවන්නෙ නෑ. බිස්නස් ප්ලෑන් ගහලා හිඟාකන එවුන් ඉන්නව කියලා හොඳටම දැන දැනත් එකෙක්ට රුපියලක් දෙකක් හරි දෙන එක මට පුරුද්දක් වෙලා. සමහර එවුන් කාසි දුන්නාම එපා මහත්තයො කියල අපිට කින්ඩි දාල යනව. යන එකාට යන්න අරිනවා මිසක් පස්සෙන් එලෝලා දෙන පුරුද්දක් මගෙ නැති හින්දා මාත් උන්ට නෑහෙන්න හොඳ පදේකුත් කියාගෙන ගේට්ටුව වහනවා.
හිඟාකන්න එන එවුන්ගෙ ප්‍රසන්ටේෂන් දිහා බලලා පර්සනල් සෙලින් ස්කිල් එක හොඳ නම් රු.10ක් දෙනවා, පින් තකා නෙමෙයි හැකියාව දිහා බලලා. ඇඩ්වටයිසින් ෆීල්ඩ් එකෙයි පත්තර ෆීල්ඩ් එකෙයි ඉන්න හින්දා හැම එකෙක්ගෙන්ම දෙයක් ගන්න තියෙනවා කියලා මං විශ්වාස කරන හින්දයි ඒ දෙන්නෙ. රු. 20 රටකජු කෑවා කියලා හිතා ගන්නව. 20ට වැඩිය නම් හොල්ලන්නෙ නෑ බොහෝ වෙලාවට.
හම්බකරන සොච්චමෙන් බයිසිකලේ ලීසින් එක ගෙවලා ගෙයක් හදා ගන්න බැරි උණත් අඩුම ගානෙ කවදා හරි බඳින්න කලින් පර්චස් 10ක් වත් අරන් දාන්න ඉතුරු කරන්න ඔනෑ කියන දේ මගෙ හිතේ තදින්ම වැදිලායි තියෙන්නෙ. මට දැන් අවුරුදු 25කුත් වුනාට පස්සෙ තමයි ටිකක් හරි කළ එලියට අඳින්න පළඳින්න ගත්තෙ. මේ කාලෙ වෙනකොට අපේ එවුන් කරපු ෆැෂන් වලින් භාගයක් වත් දැන් අවුරුදු 26ක් වෙද්දි මං කරලා නෑ. පොඩි කාලෙ නම් ආසයි ෆැෂන් කරන්න, ඒත් ගෙදරට බරක් වෙන්න ආස නැති හින්දා චාම් ජීවිතේකට හුරු වුණා. හම්බකරන්න ගත්තට පස්සෙයි ටිකක් හරි මගෙ ආසාවන්ට ඉඩ දෙන්න පටං ගත්තෙ. දැන් මට ෆැෂන් කරන්න ඉස්සර තරම් ආසාවක් නැති වුණාට රස්සාවේ ස්ටේටස් එක රැක ගනින් කියලා රංජු ලොක්කා (මගෙ බොස්) උදේ හවා කියන නිසා 2013 ජනවාරි 01 දා ඉඳලා ටිකක් පිළිවෙලකට වැඩට යනවා :-) හිඟන්නාගේ ආදායම තීරණය වෙන එක සධකයක් තමයි උගෙ ගඳ සුවඳ.. පිළිවෙලට පිරිසිදුව ඇඳ පැළැඳගෙන ඉන්න හිඟන්නො ලඟට ලස්සන නෝනලා පවා ගිහින් කීයක් හරි දානවා, බත් පැකට් ගිහින් දෙනවා මං හොඳට බලාගෙන ඉඳල තියෙනවා. ගඳ ගහන හොටු නාවර පෙරාගත්තු හිඟන්නන්ටත් මාකට් එකක් ඇති ඒකනෙ එහෙම ඉන්නව ඇත්තෙ. (මෙච්චර වතුර තියෙන රටේ මූණ වත් හෝදගෙන ජනතාව ඉස්සරහට එන්නෙ නැත්තෙ සමහර එවුන් ඒ හින්දා වෙන්න ඇතී ඒත් හිඟන්න උණත් පිළිවෙළකට ඉන්න ඕනැ කියලා මට හිතෙන හින්දා අසාධ්‍ය ලෙඩෙක් ඇරුණාම අනිත් උන් ගැන මට තියෙන්නෙ කේන්තියක්.)
මාස් පඩි කාරයෙක් විදිහට හම්බෙන සොච්චම අමතර වැඩක් කරලා 25,000ක් වත් කරගන්න බැරි වුණු මාසෙට මට කෝච්චියෙ හිඟන්නො මතක් වෙනවා. මං වගේම අත පය නොහොල්ලා හම්බ කළත් උන් මට වැඩිය හම්බ කරනව නේද කියල දැනෙන්නෙ එක පෙට්ටියකින් අඩුම ගානෙ 10, 20 කොළ 5-6ක් වත් එකතු කරන් ඊළඟ පෙට්ටියට මාරු වෙද්දි. එකෙක්ට තමන්ගෙ ප්‍රසන්ටේෂන් ස්කිල්ස් ඵලදායී විදිහට පාවිච්චි කරලා දවසකට රු. 1000කට වැඩිය නම් අනිවාර්යෙන් හොයන්න පුළුවන්. ලස්සනට ඇඳලා සුවඳ ගහ ගහ වැඩට යන අපේ බොහෝ දෙනෙක්ට ඔක්කොම කැපිල කැපිල ඇවිත් දවසෙ පඩිය රු. 1000ක් වත් වැටෙනවද? පවුලෙ වැඩිමලා හින්දා මට ගෙදර මොනව හරි ඕනෑකමක් උණොත් කර අරින්නත් බෑනෙ.. නෑ හිත මිත්‍රයන්ගෙ මගුල් ගෙවල්, බර්ත්ඩේ පාටි, ලොකු වෙච්චි පාටි හැමදාම මග අරින්න පුළුවන්ද? හොඳම ළඟම, විශ්වාසවන්ත යාළුවෙක් අතමාරුවක් ඉල්ලුවාම නොදී අරින්න පුළුවන්ද? (මං මකර ලග්න කාරයෙක් හින්දා වෙන්න ඇති මම නම් අනුන්ගෙන් උදවු ඉල්ලන්න හරිම අකමැතියි. මගෙ අම්ම, අප්ප, ගෑනිගෙන් උණත්.. මගෙ පරණ පෙම්බරී මට බැන්නෙ "මහන්තත්වෙ" කියල.. යකෝ ඒ මගෙ හැටි!!) මං රුපියලක් වියදම් කරන්නෙ අඩුම ගානෙ ඒ රුපියල ආයෙ ලැබේවා කියල ප්‍රාර්ථනා කරං.. නොමැරී ජීවත් වෙන්න අත්‍යාවශ්‍යම දේකට හැරුණාම ආතල් ගන්න, ජොලි දාන්න මං සල්ලි හොල්ලන්නෙ නෑ. අපේ එවුන් ඒ හින්දා මට කියන්නෙ "කුණා" කියලා. ඒත් ඒ "කුණුකම" මට රත්තරන්. ගම්පහ ගාඩර් එක උඩ සමහර හිඟන්නො උදේ මං වැඩට යද්දි ෆ්‍රෙෂ් පිට හිඟා කනවා. රෑ ගෙදර එනකොට කාලක් ක්‍රියා කරලා බීඩියක් අදිනවා. හැබැයි එතකොට නම් උන්ගෙයි මගෙයි වෙනසක් තියෙනව කියලා දැනෙන නිසා සන්තෝසයක් දැනෙනවා.
හිඟන්නන්ගෙ හිඟන කතා වල මාර ස්ටෝරි තියෙනවා. සමහර ඒවා පට්ට.. කොහොම වුණත් නිර්මාණශීලී, ඇඬෙන කතාවලටයි වැඩි වාසි.. සමහරු සතර අභිනය පට්ට ලෙස භාවිත කරනවා. ඒ අතරෙ ඇත්ත කතා නැත්තෙමත් නෑ. ඒ මොක වුණත් අතේ සතේ නැතුව හතේ හත වැදිල ඉන්න වෙලාවක හිඟන ප්‍රසන්ටේෂන් එකක් ඇහුනොත් නම් මට මල පනිනවා. බඩට මොනව හරි කාල, ඇඳලා පැළඳලා ලකේට පේන්න හිටියත් අපේ ඇතුලෙ පත්තුවෙන ගින්දර හිඟන්නො දන්නව නම් අපිට ඒ වෙලාවල් වලදි ඇණයක් වෙන්න එන එකක් නෑ. අපේ ගෙදර ලොකු ගේට්ටුව, ගෙදර තට්ටු දෙක, වෑන් එක, මල්ලිගෙයි මගෙයි බයිසිකල් දෙක දකින එවුන් හිතනව ඇති අපිට හතර මහා නිධානෙ පහළ වෙලා කියලා. ඒ වෙලාවට ඉතින් අපි කන හැටි ලිපා දනී කියල ෆොටෝ කොපි ගහල එන එන හිඟන්නන්ට බෙදල දෙන්න හිතෙනවා. හිඟන්නන්ට හිඟන්නො වගේ ජීවත් වෙන්න පුළුවන් උණාට අපිට එහෙම බෑ බොලවු!! අලුත් වෙන, වෙනස් වෙන ලෝකෙ එක්ක පහසුවෙන් ජීවත් වෙන්න සල්ලි නෑ කියල ඉන්න බැරි නිසයි, අසීමිත මනුෂ්‍ය ආශාවන් පිනවන්නයි ලීසින්, ෆිනෑන්ස් කියලා කොම්පැනි ජාතියක් ඇවිත් තියෙන්නෙ. රටේ ලොක්කො ලෝකෙටම ණය වෙද්දි අපි රටටම ණය වෙනවා. අනේ අම්මපා හිඟන්නන්ට මෙව්ව තේරෙන්නෙ නැතුවද අපිවම කන්න එන්නෙ?
හිඟන්නෝ යනු පවුකාරයන්ට පිං කරන්න උදවු කරන පවුකාරයෝ පිරිසක් කියලා කවුරුහරි කියලා තියෙනවා වගේ මතකයි. හිඟන්නන්ට දෙනවාට වඩා පුලන්නන්ට දෙන එකේ ආනිශංස වැඩියි කියලත් කතාවක් තිබ්බද මන්දා.. කොහොම උණත් හිඟන්නො ජීවත්වෙන්නෙ අපි නිසා බව නම් කාට උණත් තේරෙනවානෙ. අපි ජීවත් වෙන්නෙ කොහොමද? අපි ජීවත් වෙන්නෙ කවුරු හින්දද? කාවද අපි ජීවත් කරවන්නෙ? කවුද අපි වෙනුවෙන් ජීවත් වෙන්නෙ? ජීවිතේ ප්‍රශ්න පත්තරයක්.. ඒත්.. අතේ මිටේ කීයක් හරි මාරු සල්ලි තියෙනව නම්.. රුපියලක් දෙකක් හරි ඔයාගෙ හිතට අල්ලපු හිඟන ස්ටයිල් එකක් වෙනුවෙන් දීලා කුසලයක් කළා කියල අනුමෝදන් වෙන්න බැරි උනත් ඌත් අපි වගේම හිඟන්නෙක් කියල හිතාගෙන හරි ඔන්න ඔහෙ දීලා දාන්න.
#
No comments:
Post a Comment