මගේ පළමු ලිපියට ෆේස්බුක් ඔස්සේ ලැබුණු ප්‍රතිචාර වලට බොහොම
ස්තුතියි! දෙවන ලිපියට මාතෘකාව විදිහට ගත්තේ "පුෂ්ප". මේ මාතෘකාව මට
ඉතාම සමීපයි.. එදිනෙදා ජීවිතයට සමීපයි.. ඒත් මම ඒ ගැන මෙතන වැඩි විස්තර කියන්න යන
එක නම් ඒ හැටි මගෙ ඇඟට ගුණ නෑ. මේ මාතෘකාව තෝරාගැනීම සම්බන්ධයෙන් නම් මගේ
පත්තර මිතුරෝ ගොඩාක් දැනුවත් :-)
ඔවු "පුෂ්ප" කියන්නෙ "මල්" තමයි..
මල් කිව්වාම සමහරු වැරදියට හිතන්නත් ඉඩ තියෙනව.. ඒ හින්දායි අර හින්දායි (කලින්
ඡේදෙ බලන්නකො) මම "මල්" නොකියා "පුෂ්ප"ම කියන්නම්..
අපේ රටේ ජාතික පුෂ්පය මොකක්ද කියලා පහේ ශිෂ්‍යත්වයට
කටපාඩම් කළා මතකයි නේද? "නිල් මානෙල්" පුෂ්පය තමයි අපේ රටේ "ජාතික
පුෂ්පය". පළාත් සභා මැතිවරණ උණුසුම දැනෙන අස්සේ අඩු ගානෙ ඡන්දෙ ඉල්ලන එවුන්වත්
පළාතේ "පළාත් පුෂ්පය" ගැන දන්නවද දන්නෙ නෑ
නේද?. බස්නාහිර පළාතේ පළාත් පුෂ්පය වෙන්නේ
"සුදු නෙළුම්" පුෂ්පයයි. ලස්සනයි, සුවඳයි වගේම ඖෂධීය ගුණේකුත් තියෙන
පැළෑටියක් විදිහටත් සුදු නෙළුම් බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. දකුණු පළාත් සභාවේ පළාත්
පුෂ්පය වෙන්නේ "හීන්බෝවිටියා" පුෂ්පයයි. කැලේ පිපිලා කැලේම පරවෙලා යන, අපේ රටටම පමණක් ආවේණික වෙච්චි
හීන්බෝවිටියා ගෙදර මිදුලේ ලස්සනට වවාගත්තත් පාඩු නැති බේත් හේත් වලට ගන්න වටින
කියන ශාඛයක්. මේ පාරවත් පළාත් සභාවලට සුදු නෙළුම්, හීන්බෝවිටියා වගේ පුෂ්ප යවාපල්ලා.
නැත්තන් ඉතින් අන්තිමට අර හැමදාමත් වාගේ ඔහෙලට “පුෂ්පෙ පන්න ගන්න” තමයි වෙන්නෙ. "බත් කන
හරක්" ඉන්නාතාක් කල් "කිඩාරම්" පුෂ්ප තමයි දේශයේ
පාලනයට පත්වෙන්නෙ. ("බත් කන හරක්" අපේ ජයලාල් සර්ගෙ වදන් අතර ජනප්‍රියම වදනක්.. මේක තමා හරිම වදන ඒ
ජාතියෙ උන්ට දැනෙන්න අමතන්න පුළුවන්..) කිඩාරම් පුෂ්පයේ වමනෙට එන ගඳක් තිබ්බ
වුණාට අල නම් රසවත් වගේම ඖෂධීය ආහාරයක් කියලා ආයුර්වේදයේ සඳහන් වෙනවා. කිඩාරම් "පුෂ්ප"
වගේ ගඳ ගහන ගොඩක් "ගෑණු", පිරිමි එවුන්ගෙ ඇතුල නරකම නැති වෙන්න
පුළුවන් උණත් මතුපිට ගඳ තියෙනකං උන් ගඳයොම කියලා හංවඩු ගැහෙන එක වළක්වන්න මේ
සම්මජ්ජාතියෙ නම් බෑ.
කිඩාරම් මල |
මේක ලියන අස්සෙ (සමාවෙන්න! ටයිප් කරන අස්සෙ) ජෝතිපාලගෙ සිංදුවක්
මතක් වුණා.. (ජෝතිපාල මහත්තයගෙ කියලා ගහන්න හිතුනත් මං එහෙම නොදැම්මෙ අපහාසෙකට නෙමෙයි
ඊට වඩා මගෙ පපුවට ලඟයි ජෝතිපාල කියන එක. මේවා කපන්න කොටන්න සබ් එඩිටර්ලා නැති
හින්දා බය නැතුව මට ඕනෙ විදිහටයි මේ ගහලා තියෙන්නෙ )
“සල්, සපු, නා, නිල් මානෙල්, කුමුදු, සමන් මල් අතරේ
කිඩාරම් මලේ.. පවා සුවඳ දිගහැරේ
පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා
එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා
එය හැඟී නෙත මගේ කඳුළු සලනවා
වීණාවෙන්, බිළිඳු අතින් මිහිරි සර වැයේ
සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ලයේ
කලු වලා වල පවා රිදී ඉරි තියේ
කිමද මේ නිය දහම් අමතකව ගියේ”
සල්, සපු,
නා, නිල් මානෙල්, කුමුදු, සමන් මල් සුවඳ අතරේ අතරමං නොවී පිපිලා තියෙන කිඩාරම් මල්
අඳුරගනිල්ලා.. කඩලා විසිකරපල්ලා.. පුළුවන් නම් අල කාපල්ලා. බහුතර දේශපාලකයොයි,
දේශපාලනේට එන්න
දතකට මැදගෙන තාප්ප වල ඇලවිලා ඉන්න සමහර කුජීත මූණුයි මට නම් පේන්නෙ "බාඳුරා" පුෂ්ප වාගෙ. බැහැලා දේශපාලනේ කරන්න යන සාමාන්‍ය ජනතාව
බඳුරා පුෂ්පේ වැටිලා මැරෙන පොඩි සත්තු වගේ නොවේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා!
වීණාවෙන්, බිළිඳු අතින් මිහිරි සර වැයේ වගේ, පොඩි පොඩි උන්ටත් ලොකු ලොකු දේවල්
කරන්න පුළුවන් කියන එක මතක තියා ගනිල්ලා. කලු වලා වල පවා රිදී ඉරි තියේ කියලා අපි
විශ්වාසකරමු ජෝතිපාලත් කිව්ව වගේ. "කිමද මේ නිය දහම් අමතකව ගියේ" කියලා
කාගෙන් හරි නාහන තැනට වැඩ සිද්ධ කරගන්න එක කාගෙ කාගෙත් යුතුකම සහ වගකීම බව මතක
තියා ගමු!
තිළිණ සංදීප ජයසිංහ
No comments:
Post a Comment